කැප්රෝල් පන්හිදෙහි කතා වත්ථුව | පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු.

තවද එක්තරා පසල් දනව්වෙක උපායෙහි දක්ෂ නොවූ සිය පුත්‍ර තෙමේ, උපායෙහි කෙල පැමිණවීම කරනු නිසා “ස්ථානෝචිත ප්‍රාඥාව” නැමැති මාහාර්ඝ මිණි පළගේ ආනුභාව දක්වා මෙම කතා වස්තුව පියෙකු විසින් සිය පුත්‍රයා අරභයා දක්වන ලදහ.

මේ පුත්‍ර තෙමේ උපායෙහි දක්ෂයෙක් නොවීය. දිනක් පුත්‍රයා බණවා, ”පින්වත් පුතනුවණි, මිණි පලඟක් බදු වූ ස්ථානෝචිත ප්‍රාඥාව වනාහී දිව්‍යායුධයක් මෙන් ද, ප්‍රහාර මඟහරිනා පලිහක් බඳු වු ද, කල්පයක් හෝ කහවනු එක් රැස් කොට මිල දී ගත නොහෙන ආභරණයක් මෙන් ද වටනා සාස්ත්‍රයක් වන්නේ ය. එහෙයින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කෙල පැමිණිම වනාහී මේ විපරීත යුගයේ දිවි ගෙවන්නා වූ සකල ලෝක වාසීන් ම ප්‍රගුණ කල යුතු සාස්ත්‍රයක් නොවේදැ”යි ඉකුත් වත් දක්වාලුයේය.

යටගිය දවස බරණැස් නුවර ​රජීව නම් ගාන්ධිවරයෙක් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක පින්වත් පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම ​බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ”බුද්ධිඝෝෂ” යැයි නම් තැබීය.

මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැඹි කල දෙමාපියන් විසින් පසල් දනව්වෙ පිහිටි කණිෂ්ඨ තක්සලාවය, මහා තක්සලාවය, ජාතික තක්සලාවය යන තුන්තරා තක්සලාවෙන් එක්තරා තක්සලාවකට භාර කොට ප්‍රධාන ආචාරීන් බණවා මෙසේ කියන්නාහු, ”පින්වත් ඇඳුරුතුමෙනි, මේ අපගේ එකම පුත් කුමරා වන්නේය. මොහු වූ කලී ඇසිල්ලක් තරම් කාලයක් හෝ එක්තරා තැනෙක තබා ගත නොහැකි කොල්ලෙක් වන්නේය. එපමණකුදු නොවන්නේය, මේ පෝතක තෙම් ස්ථානොචිත ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් ඇත්තෙක් සේ කුමක් හෝ දණ්ඩණයක් නියම කළ කල්හී අප බණවා, මෙසේ වූ කාරණාවක් නිසා එසේ කලෙමි. එසේ නොකලේ වී නම් මාගේ අවසානය වන්නේයැ, අහවල් මානවයා කරණ කොට ගෙන මෙබන්දක් වීයෑ, ඒ කාරණාවට මාගේ අනුදැනුමක් නැතැ”යි හේතු කාරණා පල කොට දණ්ඩණය මග හරින්නේය. ඇඳුරුතුමනි, කිනම් හෝ දණ්ඩනයක් පමුණුවා මුන් අප වෙත හික්මුවාලුව මැනව”යි පෝතක කුමරු දෙස බල බලා දෙමාපියෝ සිය ප්‍රත්‍රයාගේ වත් දක්වා ලූයේය.

යට කී කුමරා ද එසේ මෙසේ එකෙක් නොවන්නේය. උන් තක්සලාවෙන් ශිල්ප උගෙන නිවසට එන්නෙ, නිවසේ තිබූ දෙයක් කෑවායින්, නොකෑවායින් චාලි නම් වූ සිටුතුමාගේ රඹ වනයට වන්නේය. උන් හා උගේ සහචරයින් එකක් වූ රඹ වනය දෙකක් කරන්නේ ‍කෙසේ ද යත්, ඔවුනොවුන් රජුන් හා රුපුන් ලෙස පිල් දෙකකට බෙදී, රුපුන් ලෙස වෙස් ගත්තෝ “රාජ්‍ය හෝ දුන මැනව, යුද්ධය හෝ කළ මැනවයි” දූර්ථයන් අත පත් යවයි. ඉදින් රජුන් ලෙස වෙස් ගත්තවුන් “රාජ්‍ය දීමක් නැතැ, යුධ වදින මෝ වෙමු” යි පෙරලා පත් යවා චාලි සිටුතුමාගේ රඹ කදන් හා සටන් වදින්නෝය. කැකුලු රඹ කැන් මත එල්ලීගෙන, පැද්දී ගොස් අනෙකුන්ගේ කරට පැන උන් මඩවාලුය. වියලී ගොස් ඇති රඹ පත්‍ර ගෙන සතුරන් සේ වෙස් ගත්තවුන් රඹ කඳන් වල පිටිතල හයා බැඳලන්නාහුය. ඔවුන්ගේ ඉණ රැදි කැටපෝලය නම් උපරණයක් ගෙන සශ්‍රීක රඹ පත්‍රයන්ට එල්ල කොට ටැකැ යන නාද අනුනාද පැණ නැගී රඹ පත්‍රයන් සිදුරු විසිදුරු වන සේ කැට මුගුරින් ගැහැට කරන්නෝය. මෙසේ මුලු සවස් යාමයම සකල වූ රඔ වනයේ සම තැන් විසම කෙරෙමින් මහත්වු කෝලාහල පවත්වන්නේය. එතකිනුත් නොනැවතී බුද්ධිඝෝෂයෝ හා උන්ගේ සහචරයින්ගේ වත් පිලිවෙත් කෙසේ දක්වන්නෙ දැයි කිය‍තොත් එය යට කී කතාව හා සර්වප්‍රකාරයෙන් සමාන වන්නේය.

මෙසේ ගත වූ එක්තරා දිනෙක බුද්ධිඝෝෂයෝ ඇවිටිල්ලෙන් කුලුගන්වනු ලැබු සිත් ඇතිව සිය තක්සලාවේ යහලුවෙකු වන ඥාණතිස්සයන්ගේ පුස්ථකයේ පිටකවරයක් අරභයා සබ්මැරීන් නම් යානාවක් සිතුවමින් අලංකාර කරමින් සිටිය දී, එක්වරම “චටාස්” යැයි නාද අනුනාද පැන නගින සේ මහත් වූ ශබ්දයක් තක්සලාව සිසාරා රාව ප්‍රතිරාව නැංවීය. බුද්ධිඝෝෂයන්ට මේ ශබ්දය අරභයා කුහුලක් උපන්නේ සිය යහලු ඥාණතිස්සයන් බණවා, “මිත්‍රය ඥාණතිස්ස, යම්කිසි නුහුරු ශබ්දයක් මාගේ දකුණු කර්ණභේරීය සිදුරු කරගෙන වමින් පිටවී මා තිගැස්සවීයැ, ඒ කිමෙක්දැයි කුහුලින් මගේ සිත පසුවෙතැ” යි විචාලේය.

එවිට ඥාණතිස්සයෝ “වන්නාටය, ඒ වනාහි අරුම පුදුම කෙලි භාණ්ඩක්යැ, අපගේ පංතියට යාබද පන්තියේ මදනායක නම් කුල පුත්‍රයා මැජික්මය පන්හිදක් රැගෙන විත් ඇතැ, එයින් අකුරු කිරීම උගහටය. එය පවත් වන්නෙ අනුන් රැවටීමටය. යම් කිසිවෙක් ඒ වූ මැජික්මය පන්හිදෙන් අකුරු කිරීමට පන්හිදෙ හි කොපුව හැරපියාවේද, ඒ තුලින් ගිනි පුලිඟුවක් පැණ නැගී එතකිනුත් නොනැවතී මහත් වූ ශබ්දයක් ද පැන නගින්නේයැ”යි පිලිවදන් දුන්නේය.

“කිමෙක්ද ඥාණ තිස්සය, අකුරු කරන පන්හිදෙන් ගිනිත්, ශබ්දයත් පිටවන්නේදැ?” යි බුද්ධිඝෝෂයෝ මහත් විමතියෙන් පෙරලා ප්‍රශ්ණ කරන කල්හී ඥාණතිස්සයෝ, “එසේය, එසේය යහලුව, එය වනාහී උපායෙකි. යම් කිසිවෙක් පන්හිදෙන් අකුරු කරමියි සිතා එහි කොපුව අඳින්නේ ද, එකෙනෙහි ම මහත් වීරීයෙන් සිරකොට ඇති විභව ශක්තියෙන් පොහොසත් යවුලක්, මුලින් යවා ඇති කැප්රෝල් නම් ගිණි බෙහෙතින් කරනා ලද පටියක නියම තැනට අසුරක් ගසන ඇසිල්ලකින් වැදීයයි. එකෙනෙහි ඇතිවන ඝට්ටණය කරණ කොට මෙසේ ගිණි පුලිගුත්, ශබ්දයත් පවත්වන්නෙ නොවේදැ”යි කැප්රෝල් පන්හිදේ ආදීනව දක්වාලීය.

එකලිහී බුද්ධිඝෝෂයෝ “මෙය වනාහී කැප්රෝල් පිස්තෝලයේ ම වැඩි දියුණු කල උපකරණකැ”යි සිය යහලු ඥාණතිස්සයන්ට බණවා, මුලින් කී මැජික්මය පන්හිද දැක බලා ගෙන, දින කිහිපයකට එය ඉල්ලා ගනිමියි, හෙටින් එළබෙන නිවාඩු දිනයන් හී එයින් ශිල්ප දක්වමියි අදිටන් කොට ගෙන මදනායකයන් බැහැදැකීමට එදින විවේක කාලයේ සුදුසුයැයි ඥාණතිස්සයන්ට යෝජනා දක්වන්නෙ, ඥාණතිස්සයන් ද එය වහා ස්ථිර කොට විවේක සමය පැමිණෙන තුරු සිය හස්ථයේ අංගුලි ගණින්නට විය.

තවත් නොබෝ වෙලාවකින් “ටැකෑන්, ටැකෑන්, ටැකෑන්” යන තක්සලාවේ ඝාණ්ඨාර හඬින් වාතලය කම්පා කරවා විවේක සමය උදාවිය. දහසක් වූ තක්සලා සිසුන් සෙල්ලමටය, ආහාරයට, අතපසු වූ අභ්‍යාස කිරීමය යන රාජකාරී සඳහා සුදානම් වන්නේ බුද්ධිඝෝෂයෝද, ඥාණතිස්සයෝද කලින් කතිකා කරගත් සේ මදනායක නම් කුළ පුත්‍රයා බැහැ දැකීමට පිටවීය.

එකල්හී මදනායකයන් සිය මැණියන් විසින් පිළියෙල කර දුන් දවල් බතට වග කියමින් සිය අසන මස්ථකානූරූඩව සිටින නියාව දැක යහලු දෙබෑයන් තුටුපහටුව පැමිණ එකත්පවස වාඩිවී, සිය කතිකාව ආරම්භ කරනු වස්, “පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු. අපට එය පෙන්වාලුව මැනවයි” ආදී වූ චාටු බස් දෙඩීය.

එවිට මදනාකයෝ, “වන්නාටය! මැජික්මය පන්හිද වනාහි ඉතා දුර්ලභ එකකි. එය වෙන්ඩ මයිලනුවන් විසින් මාගේ වැඩිමහලු සහෝදරියට පත්කඩක් දීම් ආදී දූර්ථ රාජකාරී උදෙසා අත්ලසක් සේ දින කිහිපයකට දුන් උපකරණයකැ. ‍වගකීම් විරහිත නුඹලා වැන්නවුන්ට එය තරම් නොවේයැ”යි වහසි බස් දෙඩීය.

බුද්ධිඝෝෂයෝ වනාහී උපායෙහි දක්ෂයෙකි. කුඩා කලම ස්ථානෝචිත ප්‍රඥ්ඥාවේ කෙල පැමිණියෙකි. ඉදින් ඔහු උපායක් කල්පනා කරන්නෙ මෙසේ සිතීය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s